සිංහල සිනමාවේ අක්මුල්



අතීත මානවයා තම සිතැඟි තමා ඇසින්  දුටු දෑ ගල් ලෙන් ආශ්‍රිත සිතුවම් මගින් දෘශ්‍යමාන කළහ.ලොවට කාර්මික ඥානය පහළ වීමත් සමග ඡායාරූපයේ ආගමනයද තවත් කලකින් චලන චිත්‍රයක් දක්වා ද මෙහි කලා මාධ්‍ය දියුණු වූ අතර මෙලෙස දියුණු වූ කලා මාධ්‍ය අන් කිසිවක් නොව සිනමාවයි.

රුසියානු ජාතික සිනමාකරුවෙකු වූ අයිසන්ස්ටයිනගේ මතයට අනුව රූපය යථාර්ථයේ අංශු මාත්‍රයකි.මේ ආදී වූ අංශ මාත්‍රයන් රාශියක් එක් වීම නිසා සිනමාව යථාර්ථයට වඩාත් සමීප වේ.1895 දෙසැම්බර් 28 වන දින සිනමාව නම් මූ මූලබීජය මිහිපිට රෝපණය විය.

සිංහල සිනමාවේ මඟුල් ලකුණු සනිටුහන් වනුයේ නිහඩ සිනමාපටයක් වූ රාජකීය වික්‍රමය සහ කතානාද චිත්‍රපටයක් වු කඩවුණු පොරොන්දුව දොරට වැඩීමේ ප්‍රතිඵලයක් වශයෙනි.මෙරට සාහිත්‍ය සහ කලාව කෙරෙහි භාරතීයයන් ගේ දැඩි බලපෑමක් එල්ල වී තිබූ බව නොරහසකි.උක්ත කරුණ වඩාත් ගම්‍යමාන වනුයේ මෙරට ප්‍රථම සිනමාපටය වූ රාජකීය වික්‍රමය භාරතීයකුගේ නිෂ්පාදනයක් ලෙස නිම වී තිබීමයි.

සිංහල සිනමා වංශ කතාවේ තවත් ස්වර්ණමය හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වන්නේ  පලිගැනීම නම් සිංහල චිත්‍රපටයක් ලක්දිව සිනමාහලක 1932 දී තිරගත කිරීමත් සමඟම ස්වාධීන සිනමා  කර්මාන්තයකට දොරගුළු විවර කරමිනි.

කාලය කෙමෙන් කෙමෙන් ගත වෙද්දී කාලයාගේ ඇවෑමේ ප්‍රතිඵලයක් ලෙස සිංහල සිනමාව තවත් අංගෝපාංගයන්ගෙන් සන්නද්ධ වීමේ භාග්‍යය උදාකර විය.එහි ප්‍රතිඵලයක් ලෙස 1947 ජනවාරි 21 වන දින කතානාද චිත්‍රපට නම් වූ චිත්‍රපට ප්‍රභේදයක් සිංහල සිනමාවේ සනිටුහන් වීය.ඒ  කඩවුනු පොරොන්දුව සිනමාවේ එළිදැක්වීමත් සමඟයි.

නව නිමැවුම් සමග සිංහල සිනමාව තම ගමන ඉදිරියට රැගෙන ගිය ද තවමත් සිංහල සිනමාව ඉදිරියට රැගෙන ගියේ භාරතීය ලක්ෂණයන් ද සමගය.භාරතීය ලක්ෂණයන් ගෙන් මිදී ස්වාධීනව සිංහල සිනමා කලාවක් කලාව ආරම්භ කිරීමේ කතිකාව ඒ නිසාවෙන්ම එකල තුළ දැඩි කතාබහට ලක් විය.එලෙස වූ බැමි ලිහා දමමින් ස්වාධීන වූ සිංහල සිනමාවකට මංපෙත් විවර කරමින් රේඛාව චිත්‍රපටය සිංහල අනන්‍යතාවය අනුව ගොඩනැංවිය.

කලාත්මක වශයෙන් පමණක් නොව තාක්ෂණික වශයෙන් ද සිනමා කර්මාන්තය මේ යුගය වන විට දියුණුව පැවතියේ ය.විශේෂයෙන්ම 1962දී රන්මුතු දූව චිත්‍රපටයේ එළිදැක්වීමත් සමඟ මෙරට වර්ණ චිත්‍රපටය සංකල්පය ද ස්ථාපිත විය.මෙහි ඇති තවත් සුවිශේෂී තත්ත්වයක් වනුයේ පණ්ඩිත් අමරදේවයන් සහ නන්දාමාලනියන්ගෙන් සංගීතයෙන් මේ සිනමාපටය හැඩගැන්වී තිබීමයි.

සිංහල සිනමාවේ සිනමා සක්විති වශයෙන් සලකන ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ ප්‍රබල රංගන දායකත්වයෙන් නිමවූ චණ්ඩියා නම් වූ සිනමා පටය සිංහල සිනමාවේ ඉදිරි ගමන් මගට  ධනාත්මක ලක්ෂණ රාශියක් එක් කරන්නට විය.ඊට අමතරව ලෙස්ටර් ජේම්ස් පිරිස්,සිරි ගුණසිංහ, ටයිටස් තොටවත්ත,තිස්ස අබේසේකර,ඩි.බි.නිහාල්සිංහ ආදීන් සිංහල සිනමාවේ උන්නතිය උදෙසා සාරවත් වූ රුක් රෝපණය කළ මහා විශාල දැවැන්තයන් වේ.

විචාරක මතයට අනුව එදා පමණක් නොව වර්තමානය තුලද සිංහල සිනමාවට ඉන්දීය අනුකරණයේ සෙවනැල්ල වැටී තිබේ.මෙලෙස සිංහල අනන්‍යතාවයට පූර්ණ වශයෙන්ම අනන්‍ය වූ සිනමා කෘති ගොඩ නැංවීමට ඇති නොහැකියාව නිසාම අදටත් සිංහල සිනමා කර්මාන්තයට බලවත් පහරක් එල්ල වී ඇත.

Comments

Post a Comment

Popular posts from this blog

මාධ්‍ය සදාචාරය හා සමාජ පසුබිම

සංවර්ධනය